Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

2 ලේකම් 14 - Sinhala New Revised Version 2018


ආසා රජකමට පැමිණීම

1 මෙසේ අබියා මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත්‍ර වූ ආසා ඔහු වෙනුවට රජ විය. ඔහුගේ කාලයෙහි දස අවුරුද්දක් දේශයේ සාමය පැවතිණි.

2 ආසා තම දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය.

3 මන්ද, ඔහු විදේශීය පූජාසන ද ගිරිකුළු දේවාල ද පහකොට, රූපස්තම්භ බිඳ, අෂේරා කප් කණු ද කපා දැමුවේ ය.

4 තවද, තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන්න ද ව්‍යවස්ථාව හා ආඥාව පිළිපදින්න ද ජුදාවරුන්ට ඔහු අණ කෙළේ ය.

5 ඔහු ජුදාහි සියලු නගරවලින් ගිරිකුළු දේවාල සහ සුවඳ දුම් පූජාසන පහකෙළේ ය. ඔහුගේ කාලයේ රාජ්‍යයෙහි ද සාමය පැවතිණි.

6 තවද, ඔහු ජුදාහි බලකොටු නගර යළි ගොඩනැඟුවේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහුට සාමය දුන් බැවින් දේශයේ සමගිය තිබුණේ ය. ඒ අවුරුදුවල එහි යුද්ධයක් නො වී ය.

7 ඔහු ජුදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩනඟා, අවට පවුරු ද කොටු ද දොරටු ද අගුල් ද සාදමු. අප විසින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ සොයනු ලැබූ බැවින් දේශය තවම නිරවුල් ව අප ඉදිරියෙහි තිබේ. අපි උන් වහන්සේ සෙවුවෙමු. උන් වහන්සේ ද හැම අතින් ම අපට සාමය දී තිබේ ය”යි කීවේ ය. මෙසේ ඔව්හු නගර ගොඩනඟමින් සමෘද්ධිමත් වූවෝ ය.

8 ජුදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින් ද බෙන්ජමින්වරුන්ගෙන් පලිස් දරන දුනු ගත් දෙලක්ෂ අසූදහසකින් ද යුක්ත වූ සේනාවක් ආසාට සිටියහ. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ වූ හ.

9 ඔවුන්ට විරුද්ධ ව කුෂ්හි ශෙරා දසලක්ෂයක් සෙනඟ ද රථ තුන්සියයක් ද අඩංගු වූ සේනාවක් ඇති ව පිටත් වී මාරේෂා දක්වා පැමිණියේ ය.

10 ආසා වනාහි ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. එවිට මාරේෂාහි ශෙපාතා මිටියාවතෙහි ඔව්හු යුද්ධයට සැරසී සිටගත්හ.

11 ආසා තම දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “සමිඳුනි, බලසම්පන්න අයට විරුද්ධ ව බලහීන අයට පිහිට වන්න ඔබ හැර අන් කිසිවෙක් නැත්තේ ය. අපේ දෙවි සමිඳුනි, අපට පිහිට වුව මැනව. මන්ද, අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබේ නාමයෙන් මේ සමූහයට විරුද්ධ ව අවුත් සිටිමු. සමිඳුනි, ඔබ අපේ දෙවියන් වහන්සේ ය. ඔබට විරුද්ධ ව මනුෂ්‍යයා ජය නොගනීවා”යි කීවේ ය.

12 සමිඳාණන් වහන්සේ ආසා සහ ජුදාවරුන් ඉදිරියෙහි කුෂ්වරුන් පැරද වූ සේක. කුෂ්වරු පලා ගියෝ ය.

13 ආසා ද ඔහු සමඟ සිටි සෙනඟ ද ගෙරාර් දක්වා ලුහුබැඳ ගියෝ ය. කුෂ්වරුන්ගෙන් කිසිවෙකු ජීවත් ව ඉතුරු නොවන ලෙස ඔව්හු මැරුම්කෑහ. මන්ද, ඔව්හු සමිඳාණන් වහන්සේ ද උන් වහන්සේගේ සේනාව ද ඉදිරියෙන් විනාශ කරනු ලැබුවෝ ය. ඔව්හු ඉතා මහත් කොල්ලයක් ද රැගෙන ආවෝ ය.

14 ගෙරාර් නගරය අවට සියලු නගරවලට ඔව්හු පහර දුන්නෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙන් ඔවුන් පිට භීතියක් පැමිණි බැවින් ඔව්හු ඒ සියලු නගර කොල්ලකෑවෝ ය. ඒවායේ බොහෝ කොල්ලය තිබිණි.

15 ඔව්හු සිවුපාවුන්ගේ මඩුවලටත් පහර දී බොහෝ බැටළුවන් ද ඔටුවන් ද අල්ලාගෙන ජෙරුසලමට හැරී ආවෝ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්