යොහන් 12:42 - Sinhala New Revised Version එසේ වුව ද, ප්‍රධානීන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ. එහෙත් තමන් ධර්මශාලාවෙන් නෙරපනු ලබති යි පරිසිවරුන්ට බියෙන් එය එළිපිට නොකී හ. සිංහල කාලීන පරිවර්තනය එසේ වුවත්, යූදා ප්‍රභූන් පවා බොහෝ දෙනෙක් යේසුස්වහන්සේ තුළ විශ්වාස කළහ. එහෙත් ඒ වග හෙළි වුවහොත් තමන් සිනගෝගයෙන් නෙරපා හරිතැයි පරිසීන්ට බයින් ඔවුන් එය ප්‍රකාශ කළේ නැත. Sinhala New Revised Version 2018 එසේ වුව ද, ප්‍රධානීන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ. එහෙත් තමන් ධර්මශාලාවෙන් නෙරපනු ලබති යි පරිසිවරුන්ට බියෙන් එය එළිපිට නොකී හ. Sinhala Revised Old Version එසේවී නුමුත් මුලාදෑනීන්ගෙන් පවා බොහෝදෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය; නුමුත් සිනගෝගයෙන් අහක්කරනු නොලබන පිණිස ඵරිසිවරුන් නිසා ඒ බව ප්‍රකාශ නොකළෝය. |
දැහැමිකම දන්න, සිය සිත්වල මාගේ අණපණත් නිදන් කර ඇති ජනයෙනි, මට සවන් දෙන්න. මිනිසුන් නුඹලාට නින්දා කරන විට බිය නොවන්න. ඔවුන්ගේ අපහාසවලට නොකැළඹෙන්න.
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා බොරු කීවේත්, මා සහමුලින් ම අමතක කළේත් කවරෙකුට බියෙන් ද? නුඹලා මට බිය නොවන්නේ මා බොහෝ කලක් නිශ්ශබ්ද ව සිටි නිසා ද?
සමිඳුන්ගේ වචනයට කීකරු වන අය එතුමන් කියන දේට සවන් දෙන්න: “මා නිසා සමහර අය නුඹලාට වෛර කොට, නුඹලා කොන් කර ඇත. ‘සමිඳු සිය මහිමය ප්‍රකාශ කළා වේ. එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දැක හැකි ය’යි ඔව්හු කියති. එහෙත්, ලජ්ජාවට පමුණුවනු ලබන්නෝ ඔව්හු ම ය.
එවිට ශෙදෙකියා කතා කරමින්, “බබිලෝනිවරුන්ට එකතු වූ ජුදෙව්වරුන් ගැන මම බිය වෙමි. මට වද වේදනා කරන පිණිස ඔවුන් අතට මා පාවා දෙනු ලැබේ දැ යි මට සැක ය”යි කී ය.
යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මමත් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන්නෙමි.
“තවද යමෙක් මනුෂ්‍යයන් අබිමුවෙහි මා පිළිගත් බවට සාක්ෂි දරන්නේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝත් දෙවියන් වහන්සේගේ දූතයන් අබිමුවෙහි ඔහු පිළිගත් බවට සාක්ෂි දරන සේක.
මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය.
මරියා වෙතට ආ ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක උන් වහන්සේ අදහාගත්හ.
මන්ද, ඔහු නිසා ජුදෙව්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් අහක් ව ගොස් ජේසුස් වහන්සේ අදහාගත් නිසා ය.
ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය.
ඉන්පසු, ජුදෙව්වරුන්ට බිය නිසා, රහසින් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ අරිමාතියේ ජෝසෙප්, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලී ය. පිලාත් අවසර දුන්නේ ය. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය.
ඔහු එක් රැයක උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙකැ යි අපි දනිමු; මන්ද, දෙවියන් වහන්සේ තමා සමඟ වැඩ නොසිටින සේක් නම්, කිසිවෙකුට ඔබ කරන මේ හාස්කම් කළ නොහැකි ය”යි කී ය.
එසේ වුව ද, සෙනඟගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගෙන, “ක්‍රිස්තුවරයාණන් වැඩම කළ විට, මේ මිනිසා කර ඇති හාස්කම්වලට වඩා යමක් එතුමාණන් කරනු ඇද්දැ”යි ඇසූ හ.
ඔහුගේ දෙමවුපියන් මෙසේ කීවේ ජුදෙව්වරුන්ට බියෙනි. මන්ද, ‘යමෙක් උන් වහන්සේ ක්‍රිස්තුවරයාණෝ යයි ඒත්තුගන්නේ නම් ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමිය යුතු ය’යි ජුදෙව්වරුන් නියම කරගෙන සිටි හෙයිනි.
ඔව්හු පිළිතුරු දෙමින්, “උපන් දා සිට ම පාපයේ සිටින ඔබ අපට උගන්වන්නට එන්නෙහි දැ”යි කියා ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමූ හ.
එවිට ප්‍රේරිතයෝ ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.
මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය.
යමෙක් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව අදහාගනිමින් ප්‍රකාශ කරන්නේ ද, දෙවියන් වහන්සේ ඔහු තුළත්, ඔහු දෙවියන් වහන්සේ තුළත් වාසය කරති.
ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ දැනගන්නේ මෙසේ ය: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිස්බව ගෙන වැඩම කළ බව ඒත්තු ගන්නාවූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් ය.