යෙරෙමියා 30:6 - Sinhala New Revised Version පුරුෂයෙකුට ප්‍රසව වේදනාව ඇති විය හැකි ද කියා සිතා බලන්න. එසේ නොවේ නම්, ප්‍රසව වේදනාව ඇති ස්ත්‍රියක මෙන් හැම පුරුෂයෙකු ම ඉඟටියේ අත් තබාගෙන සිටිනවාත්, මුහුණ සුදුමැලි වී තිබෙනවාත් මට පෙනෙන්නේ කුමක් නිසා ද? Sinhala New Revised Version 2018 පුරුෂයෙකුට ප්‍රසව වේදනාව ඇති විය හැකි ද කියා සිතා බලන්න. එසේ නොවේ නම්, ප්‍රසව වේදනාව ඇති ස්ත්‍රියක මෙන් හැම පුරුෂයෙකු ම ඉඟටියේ අත් තබාගෙන සිටිනවාත්, මුහුණ සුදුමැලි වී තිබෙනවාත් මට පෙනෙන්නේ කුමක් නිසා ද? Sinhala Revised Old Version පුරුෂයෙක් බිහිකරන වේදනා විඳින්නේද කියා අසා බලන්න. බිහිකරන ස්ත්‍රියෙකු මෙන් සියලු පුරුෂයන් ඉඟටියේ අත් තබාගන ඉන්නවාත් සියලු මුහුණු සුදුමැළිව තිබෙනවාත් මට පෙනෙන්නේ මක්නිසාද? |
මා දුටු සිහිනය මාගේ සිතෙහි ඉමහත් භීතියක් ද ස්ත්‍රියකට ඇතිවන ප්‍රසව වේදනාව වැනි වේදනාවක් ද ඇති කර තිබේ. මම කන් නෑසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි; ඇස් නොපෙනෙන තරම් කැළඹී සිටිමි.
ආබ්‍රහම් විපතින් මුදාගත් ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන සමිඳාණෝ දැන් මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟෙනි, තවත් නුඹලා ලජ්ජාවට පත් කරනු නොලබන්නහු ය. නුඹලාගේ මුහුණ ලජ්ජාවෙන් සුදුමැළි නොවන්නේ ය.
ඔබේ මිතුරෝ යයි ඔබ සිතූ සෙනඟ, ඔබේ නායකයන් වශයෙන් පත් කරනු ලැබූ විට ඔබ කුමක් කියන්නහු ද? විළිරුජාවෙන් පෙළෙන ස්ත්‍රියක සේ වේදනාවෙන් ඔබ පෙළෙන්නේ නැද් ද?
අහෝ! ලෙබනොන් වැසියෙනි, කිහිරි ගස් අතර සුරක්ෂිත ව සිටින ඔබට විළිරුදාවෙන් පෙළෙන ස්ත්‍රියක මෙන් දුක් වේදනාව ඇති වූ විට ඔබ කෙඳිරි ගාන්නෙහි ය.
විළිරුජා ඇති ස්ත්‍රියකගේ හැඬීම මෙන් ද කුලුඳුලා බිහි කරන ස්ත්‍රියකගේ ප්‍රසව වේදනාව මෙන් ද සියොන් දුවගේ හඬ මට ඇසුණේ ය. ඈ හතිදමමින් කෙඳිරිගාමින්, ඇගේ අත් විදහාගෙන, “අහෝ! මට විපත ය; මා මරන්නට එන අය ඉදිරියේ මම ක්ලාන්ත වෙමි”යි කියන්නී ය.
නගර සතුරාට අසු වනු ඇත; බලකොටු අල්ලා ගනු ලැබේ; මෝවබ්හි හේවායන්ගේ සිත ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් වන්නේ ය.
සතුරා රාජාලියෙකු මෙන් නැඟී ඉගිලී අවුත්, බොශ්රා පිට සිය පියාපත් විදහා පානු ඇත. ඒ දවසේ දී ඒදොම්හි හේවායන්ගේ සිත් ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් භීතියට පත් වන්නේ ය.”
දමස්කයේ වැසියෝ බෙලහීන ව භීතියෙන් පලා යන්නට හැරී සිටිති. ප්‍රසව වේදනාවෙන් සිටින ස්ත්‍රියක මෙන් ඔව්හු වේදනාවෙන් හා දුකෙන් මිරිකෙති.
බබිලෝනියේ රජු ඔවුන්ගේ කීර්තිය ගැන ඇසූ විට ඔහුගේ අත් පණ නැති විය. දුක ද ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකට මෙන් පීඩනය ද වේදනාව ද ඔහුට ඇති වී තිබේ.
ජෙරුසලම් වැසියෝ මෙසේ කියති: “ඒ පුවත අප අසා ඇත; අපේ අත් දුර්වල වී තිබේ; ස්ත්‍රියට ඇති වන විළිරුජාව සේ දුක් වේදනාව අප පිට පැමිණ ඇත.
එකල රජුගේ මුහුණ මැලවී සිත කැළඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැති ව දණහිස් එකට එක වැදුණේ ය.
ඉශ්රායෙල් වනාහි, බිහි වීමට අවස්ථාව පැමිණ ඇතත්, මවු කුසයෙන් පිටතට නොඑන මෝඩ දරුවෙකු හා සමාන ය. එබැවින් ප්‍රසූත කාලය පැමිණියත් ඔහු බිහි නොවෙයි.
නිනිවය භේද වී, භින්න වී, භංග වී ඇත; සිත දෙදරා යයි; දණහිස් වෙවුලයි; තුනටිය කකියයි; ඔවුන් සියල්ලන්ගේ මුහුණු සුදුමැළි වෙයි.
‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.