සිංහාසනයෙහි වැඩ සිටින දෙවියන්වහන්සේ ගැන දර්ශනය1 ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කථාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය. 2 එකෙණෙහිම මම ආත්මයාණන්වහන්සේ තුළ සිටියෙමි. එවිට ස්වර්ගයෙහි සිංහාසනයක් තිබුණේය, ඒ සිංහාසනයෙහි එක්කෙනෙක් වැඩහුන්සේක; 3 එහි වැඩහුන් තැනන්වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික්වලට සමානව සිටිසේක. සිංහාසනය අවට මරකතයට සමානව පෙනෙන දේදුන්නක් තිබුණේය. 4 ඒ සිංහාසනය වටේට සිංහාසන විසිහතරක් තිබුණේය. ඒ සිංහාසන මත්තෙහි වැඩිමහල්ලන් විසිහතර දෙනෙක් සුදු වස්ත්‍ර පැළඳ, තමුන්ගේ හිස් මතුයෙහි රන් ඔටුනු ඇතුව, වාඩිවී හිඳිනවා දුටිමි. 5 සිංහාසනයෙන් විදුලිද ශබ්දද ගර්ජනාද නික්මුණේය. සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබුණේය, ඒවා නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනාය; 6 සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමානවූ වීදුරු සමුද්‍රයක් වැනි පෙනීමක් විය; සිංහාසනය මධ්‍යයෙහිත් සිංහාසනය අවටත් ඉස්සරහින්ද පස්සෙන්ද ඇස්වලින් පිරුණාවූ ජීවමාන සත්වයන් සතර දෙනෙක් සිටියෝය. 7 පළමුවෙනි සත්වයා සිංහයෙකුට සමානය, දෙවෙනි සත්වයා වස්සෙකුට සමානය, තුන්වෙනි සත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබුණේය, සතරවෙනි සත්වයා පියාසරකරන රාජාලියෙකුට සමානය. 8 එක එකාට පියාපත් සයක් බැගින් තිබුණාවූ ඒ ජීවමාන සත්වයන් සතරදෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔව්හුද: සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රෑ දාවල් නොනැවතී කියති. 9 ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින්නාවූ, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල, 10 වැඩිමහල්ලන් විසිහතරදෙනාද සිංහාසනයෙහි වැඩසිටින තැනන්වහන්සේ ඉදිරියෙහි වැටී, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට නමස්කාරකර, තමුන්ගේ ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා: 11 අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති. |
Ceylon Bible Society
Ceylon Bible Society