ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


යෙරෙමියා 24 - Sinhala New Revised Version Sinhala New Revised Version
යෙරෙමියා 24

අත්තික්කා කූඩ දෙක

1 දේව මාලිගාව ඉදිරිපිට තබා තිබෙන අත්තික්කා ගෙඩි පුරවන ලද කූඩ දෙකක් සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සේක. මේ දර්ශනය සමිඳාණන් වහන්සේ පෙන්වූයේ, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි අධිපතීන් ද කම්හල්කරුවන් ද ලෝහකරුවන් ද ජෙරුසලමෙන් අල්ලාගෙන බබිලෝනියට ගෙනයනු ලැබුවාට පසුව ය.

2 එක කූඩයක කලින් ඉදෙන, හොඳ අත්තික්කා පල තිබුණේ ය. අනික් කූඩයේ කන්නට බැරි තරම් ඉතා නරක අත්තික්කා තිබුණේ ය.

3 එවිට සමිඳාණන් වහන්සේ “ජෙරමියා, නුඹට කුමක් පෙනේ දැ”යි මාගෙන් ඇසූ සේක. මම පිළිතුරු දෙමින්, “අත්තික්කා ය; හොඳ අත්තික්කා ඉතා හොඳ ය; නරක ඒවා කන්න බැරි තරම් ඉතා නරක ය”යි කීවෙමි.

4 සමිඳාණන් වහන්සේ මා අමතා මෙසේ වදාළ සේක:

5 “ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වන මම බබිලෝනියට යවනු ලැබූ යහපත් ජුදෙව්වරුන් මේ හොඳ අත්තික්කා මෙන් වන්නට සලසමි.

6 මම ඔවුන් මැනවින් රැකබලාගෙන ආපසු මේ දේශයට ගෙනෙන්නෙමි; ඔවුන් හෙළා නොදමා වර්ධනය කරන්නෙමි. ඔවුන් උදුරා නොදමා පිහිටුවන්නෙමි.

7 මා සමිඳාණන් වහන්සේ බව දැනගන්න පිණිස ඔවුන්ගේ සිත් පහදන්නෙමි. එවිට ඔවුන් මුළු සිතින් ම මා වෙත හැරෙන බැවින් ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ වන්නෙමි.

8 “එහෙත්, ජුදාහි රජු වන ශෙදෙකියා ද ඔහුගේ අධිපතීන් ද මේ දේශයේ ඉතිරි ව සිටින ජෙරුසලමේ සෙසු අය ද මිසර දේශයේ වාසය කරන්නන් ද ස්වාමීන් වන මම, කන්නට බැරි අර නරක අත්තික්කා මෙන් වන්නට සලසමි.

9 ලොවේ සියලු ජාතීන් තැති ගන්වන සුලු විනාශයක් මම ඔවුන් පිට පමුණුවන්නෙමි. විජාතීන් ඉදිරියෙහි ඔවුන්ට නින්දාව ද සමච්චලය ද සරදම ද ඇත; මා ඔවුන් විසුරුවා හරින සෑම තැන්හි ම ඔවුන් සාපයක් වනු ඇත.

10 මා ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශයේ කිසිවෙකු ඉතිරි නොවන ලෙස යුද්ධයත්, සාගතයත්, වසංගතයත් ඔවුන් කෙරෙහි පමුණුවන්නෙමි.”

Ceylon Bible Society

Ceylon Bible Society