ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


ගීතාවලිය 21 - Sinhala New Revised Version Sinhala New Revised Version
ගීතාවලිය 21


දාවිත්ගේ ගීතයකි.

විජයශ්‍රීය ගැන ප්‍රශංසා

1 සමිඳුනි, ඔබේ බල පැරකුම් ගැන රජ තෙමේ උදන් අනයි; ඔබ දුන් විමුක්තිය ගැන ඔහු කොතරම් ප්‍රමෝද වන්නේ ද!

2 ඔබ ඔහුගේ මන දොළ පුරවා ලූ සේක; ඔහුගේ යාදිනි නොපිරිහෙළා ඉටු කළ සේක.

3 ඔබ සැප සම්පත් රැගෙන ඔහු වෙත එන සේක; ඔහුට පිවිතුරු රන් කිරුළක් පළඳවන සේක.

4 ඔහු ඔබෙන් දිවි සම්පත අයැදී ය, ඔබ ඔහුට එය දුන් සේක; දිගායු ද ප්‍රදානය කළ සේක.

5 ඔබෙන් ලත් විමුක්තිය රජුට යස ඉසුරු ගෙන දෙයි. කීර්තිය හා ප්‍රතාපය ඔබ ඔහුට දෙන සේක.

6 ඔබ ඔහුට සදහට ම ඉමහත් ආසිරි දානය කරන සේක; ඔබ ඔහු සමඟ සිටීමෙන් ඇති වන ප්‍රීතියෙන් ඔහු පිනවන සේක.

7 මන්ද, සමිඳුන් කෙරේ රජ තෙමේ විශ්වාසය තබයි; මහෝත්තමයාණන්ගේ කරුණා මහිමය නිසා ඔහු නොසැලී රජකම් කරයි.

8 රජුගේ වමතට සියලු සතුරෝ ද දකුණතට වෛර බඳින්නෝ ද අසු වන්නෝ ය.

9 ඔබේ කෝපය ඔවුන්ට බුර බුරා නඟින ගිනි උදුනක් වනු ඇත, හිමි තුමාණෝ සිය උදහසින් ඔවුන් වනසාලන සේක. ගින්නකින් මෙන් ඔවුන් දවා ලන සේක.

10 ඔබ ඔවුන්ගේ දූ දරුවන් සිඳ දමන සේක; ඔවුන්ගේ මුණුබුරන් මිනිස් ලොවින් සහමුලින් වනසන සේක.

11 මන්ද, ඔබට විරුද්ධ ව ඔවුන් කුමන්ත්‍රණය කළත්, උපා මාර්ග යෙදුවත් ඒවා සාර්ථක නොවනු ඇත.

12 ඔබේ ඊගස් ඔවුන්ගේ මුහුණට එල්ල කරනු ඇත; එවිට ඔවුන් පිටුපා යනු ඇත.

13 සමිඳුනි, ඔබේ වික්‍රම පාමින් උසස් වනු මැනව. එවිට අපි ඔබේ තෙද බල විකුම් ගැන ප්‍රශස්ති ගීත ගයන්නෙමු.

Ceylon Bible Society

Ceylon Bible Society