ජෙරුසලමේ වැටීම1 ජුදාහි රජ වූ ශෙදෙකියාගේ රජකමේ නව වන අවුරුද්දේ දස වන මාසයේ දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් තෙමේ තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් එය වටලාගත්තේ ය. 2 ශෙදෙකියාගේ එකළොස් වන අවුරුද්දේ සතර වන මාසයේ නව වන දින නගර පවුර බිඳින ලද්දේ ය. 3 ජෙරුසලම අල්ලාගනු ලැබූ පසු, බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු එනම්, නේර්ගල්-ෂරෙශෙර් ද සම්ගර්-නෙබෝ ද සර්සෙකිම් ද රබ්-සාරිස් ද තවත් නේර්ගල්-ෂරෙශෙර් නමැත්තෙක් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ අනික් සියලු අධිපතීහු ද අවුත් මැද දොරටුවේ හිඳගත්තෝ ය. 4 තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා ද සියලු හේවායෝ ද ඔවුන් දුටු විට, පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රජ උයන මැදින් යන පාරෙන් නගරයෙන් පිටත් ව රාත්‍රියේ පලා ගියෝ ය. ඔව්හු අරබා සමභූමියේ මාර්ගය බලා නික්ම ගියෝ ය. 5 එහෙත්, බබිලෝනිවරුන්ගේ සේනාව ඔවුන් ලුහුබැඳ ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ශෙදෙකියාට ළං වී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් වෙත ඔහු ගෙන ගියෝ ය. ඔහු ද ඔහු ගැන තීන්දුව දුන්නේ ය. 6 බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් රිබ්ලාහි දී ඔහුගේ ඇස් ඉදිරිපිට මැරී ය. බබිලෝනියේ රජ ජුදාහි සියලු උත්තමයන් ද මැරවී ය. 7 තවද, ඔහු ශෙදෙකියාගේ ඇස් උගුලාදමා, ඔහු බබිලෝනියට ගෙන යන පිණිස විලංගු දැමවී ය. 8 බබිලෝනිවරු රජ මැදුර සහ සෙනඟගේ ගෙවල් ගිනි ලා, ජෙරුසලමේ පවුරු කඩාදැමුවෝ ය. 9 තවද, රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්, නුවර ඉතිරි ව සිටි සෙනඟ ද පලා අවුත් තමාගේ සෙනඟට එකතු වූ අය ද සෙනඟගෙන් ඉතිරි වූ අනෙක් අය ද අල්ලා බබිලෝනියට ගෙන ගියේ ය. 10 එහෙත්, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් කිසිත් නැති දිළිඳු සෙනඟගෙන් සමහරෙකු ජුදා දේශයෙහි ඉතිරි කර තබා, ඔවුන්ට මිදි වතු සහ ඉඩම් ද දුන්නේ ය. ජෙරමියා නිදහස් වීම11 ඉන්පසු බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ තෙමේ ජෙරමියා ගැන රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්ට අණ කරමින්, 12 “ඔබ ඔහු රැගෙන, ඔහු හොඳට රැක බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු ඔබට කියන හැටියට ම ඔහුට කටයුතු කරන්නැ”යි කීවේ ය. 13 මෙසේ රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ද නෙබුෂශ්බාන් ද රබ්-සාරිස් ද නේර්ගල්-ෂරෙශෙර් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු ද 14 ජෙරමියා රැකවල් මළුවෙන් ගෙන්වාගෙන ඔහු ගෙදරට ගෙන යන පිණිස ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර කළෝ ය. ජෙරමියා සෙනඟ අතරේ වාසය කෙළේ ය. එතියෝපීය එබෙද්-මෙලෙක්ට සමිඳුන්ගේ පොරොන්දුව15 ජෙරමියා රැකවල් මළුවේ හිර අඩස්සියේ සිටිද්දී, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කරමින්, එතියෝපීය එබෙද්-මෙලෙක්ට මෙසේ කියන්නට වදාළ සේක: 16 “බලන්න, මා කී පරිදි මම මේ නගරය පිට සැපත නොව විපත පමුණුවන්නෙමි. ඒ දවසේ දී මේවා නුඹ ඉදිරියෙහි ම සිදු වනු ඇත. 17 එහෙත්, ස්වාමීන් වන මම ඒ දවසේ දී නුඹ ගළවන්නෙමි. නුඹ බිය ව සිටින මිනිසුන්ගේ අතට නුඹ පාවා නොදෙනු ලැබේ. 18 සැබැවින් ම මම නුඹ මුදාගන්නෙමි. නුඹ කඩුවෙන් මරනු නොලබන්නෙහි ය. නුඹ මා කෙරෙහි විශ්වාස කළ බැවින් නුඹ පණ බේරාගෙන ගැළවෙන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.” |