ඔන්ලයින් බයිබලය

දැන්වීම්

මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම


2 තිමෝති 3 - Sinhala New Revised Version 2018 Sinhala New Revised Version 2018
2 තිමෝති 3

අවසාන කාලයේ උවදුරු

1 මෙය හිතට ගන්න: අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි.

2 ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, පුරසාරම් දොඩන, අහංකාර, දේව අපහාස කරන, දෙමව්පියන්ට අකීකරු, කෙළෙහිගුණ නොසලකන, අධර්මිෂ්ඨ,

3 අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති,

4 ද්‍රෝහී, හිතුවක්කාර, හිස උදුම්මාගත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාට වඩා විනෝදයට ඇලුම් වූ අය වන්නෝ ය.

5 දේව භක්තික පෙනුම ඔවුන්ට තිබුණත්, එහි බලය ප්‍රතික්ෂේප කරති. එබඳු අයගෙන් අහක් වී සිටින්න.

6 මන්ද, මොවුන්ගෙන් සමහරු ගෙවලට ඇතුළු වී, පවින් බර වූ, අනේක කාමතෘෂ්ණාවලින් බැඳුණු

7 නිතර ම ඉගෙනගන්න නමුත් කිසිකලෙක සත්‍යය දැනගන්නට බැරි, ළාමක ස්ත්‍රීන් වසඟ කරගන්න අය වෙති.

8 යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවාක් මෙන්, මොවුහු සත්‍යයට විරුද්ධ ව සිටිති. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙයකි.

9 එහෙත් ඔවුනට වැඩි දුර යන්නට නොලැබේ. මන්ද, ඒ දෙදෙනාට සිදු වූවාක් මෙන්, මොවුන්ගේ මෝඩකම කාටත් හෙළි වන බැවිනි.

තිමෝතියස්ට අවසාන උපදෙස්

10 එහෙත් මගේ ඉගැන්වීම ද හැසිරීම ද අරමුණ ද ඇදහිල්ල ද ඉවසිලිවන්තකම ද ප්‍රේමය ද ශාන්තිය ද

11 අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක.

12 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දේව භක්තික ව ජීවත් වන්නට කැමැති සියල්ලො‍් ම පීඩා විඳින්නෝ ය.

13 එහෙත් නපුරු මිනිස්සු ප්‍රයෝගයෙන් අනුන් රවටා, තමන් ද රැවටී, වැඩි වැඩියෙන් නරක් වන්නෝ ය.

14 එහෙත් ඔබ ඉගෙනගත්, ඔබ සහතික ලෙස අදහන දේවල් සිතේ තබාගන්න. ඔබේ ගුරුවරුන් අමතක නොකරන්න.

15 ළමාවියේ සිට ඔබ ශුද්ධ ලියවිලි දැනගත් බව ද අමතක නොකරන්න. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, ගැළවීමේ මාර්ගයත්, ඒවායින් ඉගෙනගත හැකි ය.

16 දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමට ද දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද දමිටු ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමට ද ප්‍රයෝජනවත් වෙයි.

17 දෙවියන් වහන්සේට කැප වූ පුද්ගලයා සම්පූර්ණ වශයෙන් පුහුණු වී, ඕනෑ ම යහපත් සේවයකට සූදානම් ව සිටින්නේ එසේ ය.